Tuesday, December 28, 2010

ලේඛන ද? ලේඛණ ද?

යම් යම් ලියකියවිලිවලට අපි ලේඛන යැයි කියමු. ලේඛන යනු සංස්කෘත තද්සම වදනකි. එහෙත් 'ලේඛන' යැයි නිවැරදි ව ලියන පිරිසක් මෙන් ම 'ලේඛණ' යැයි වැරදියට ලියන පිරිසක් ද සිටිති. අන්තර්ජාලයේ 41 600ක් වරක් 'ලේඛන' යැයි නිවැරදි ව ලියා තිබේ. 19 200 වාරයක් 'ලේඛණ' ලෙස වැරදියට ලියා තිබේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ (ICTA) සියබස් වෙබ් අඩවියේ - ආදර්ශ සිංහල ලේඛණ- යන්නෙහි 'ලේඛණ' ද ඒ වැරදි 19 200න් එකකි.මේ අනුව නිවැරදිව ලියන පිරිසට සාපේක්ෂව 50%ක් පමණ වැරදියට එය ලියා තිබේ.

එහෙත් නිවැරදි වදන 'ලේඛන' බව සිහි තබා ගැනීමෙන් මේ වරදින් සිදුවන අක්ෂර වින්‍යාස දෝෂය වළක්වා ගත හැකි ය. ඒ අනුව 'ලේඛනාගාරය,' 'ලේඛනාරුඪ,' 'ලේඛනාරක්ෂක' ආදි වදන් ද නිවැරදි විය යුතු ය.

Thursday, December 16, 2010

අළුත්ගම ද? අලුත්ගම ද?

බෙන්තර ගඟට එගොඩින් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා යැයි කතාවක් බස්නාහිර පළාතේ තිබේ. ගඟට එගොඩ ඇත්තේ දකුණ ය. දකුණේ සිට බෙන්තර ගඟ පැන බස්නාහිරට ආ විට මුලින් ම හමු වන්නේ අලුත්ගම ය. එය එකල ගමක් වුව ද අද නගරයකි. මෙහි අලුත් යනු නැවුම්, අභිනව යන අරුතයි. අලුත්ගම යනු අලුතින් ඇති වූ ගම යන්න ය.

එහෙත් අලුත්ගම හොටෙල්, කඩ, ආයතන, බස්, ලොරි ඈ මෙකී නොකී සියලු තැන්හි මේ නම ලියා ඇත්තේ අළුත්ගම යනුවෙනි. අළු යනු යම් යම් ද්‍රව්‍ය දහනය වූ පසු ශේෂ වන භස්ම ය. මේවා අපේ ළිපේ ඕනෑ තරම් තිබේ.

බෙන්තර ගඟ අසල පිහිටි නගරය, අලුතින් ඇති වු ගම යන අරුතින් අලුත්ගම වනු විනා ළිපේ ඇති අළු යන අරුතින් අළුත්ගම වන්නට හේතුවක් නැත.

මෙවන් සරළ වියරණ වැරදි දකින විට ඇස් ඇරපු බළල් පැටියෙක්වත් රැගෙන නො ඒම හොඳ යැයි අපට සිතේ.

Tuesday, December 14, 2010

අධිරද බල බිඳලමු ?‍

ලංකා සම සමාජ පක්ෂයයේ 75 වන සංවත්සරය වෙනුවෙන් අළවා තිබුණු, අහම්බෙන් අද උදෑසන මා නෙත ගැටුණු පෝස්ටරයකින් උපුටා ගත් කොටසකි; මේ සිරස්තලය. මෙහි 'අධිරද' යනු 'අධිරාජ්‍ය' යන සංස්කෘතයට බර වදන සිංහල ඌරුවට යොදා ගැනීමට දරන ලද උත්සාහයකි. එය අගය කළ යුතු ය.

එහෙත් එම කාර්ය මැනවින් ඉටු කර ගැනීමට එහි රචකයා අසමත් වී තිබේ. 'රාජ්‍ය' යන්න 'රද' ලෙස සිංහලට නැගුව ද 'අධි' යන උපසර්ගය එසේ ම තබා තිබේ. එය සිංහල රීතියට පටහැණි ය. යම් කිසි වචනයක් සිංහල ඌරුවට ලියයි නම් මුළු වචනය ම එසේ ලිවිය යුතු ය. නැතහොත් එය මුල් ස්වරූපයෙන් ම තැබීම වඩා උචිත ය. නිදසුනක් ලෙස 'සුභ ප්‍රාර්ථනා' යන වදන සිංහල ඌරුවට 'සුබ පැතුම්' වෙයි. ඒ අනුව 'අධිරාජ්‍ය' යන වදන නිවැරදිව සිංහලට නැගිය යුත්තේ 'අදිරද' යනුවෙනි.

මෙවන් දේ ගැන අප සාවධාන විය යුතු ය. එසේ නොවුණ හොත් සිදුවන්නේ අදිරද බල බිඳලීම නො ව අප බස ද නසාලීම ය.

වැරදි කන්නාඩියෙන් බැලීම

අපි ඇහේ පළඳින්නට මෙන් ම මුණ බලන්නට ගන්නේ ද කන්නාඩි ය. ඇසේ පෙනීම අඩු අය මෙන් ම විලාසිතාවට ද ඇතැම්හු කන්නාඩි පළඳිති. ඒවාට උපැස් යැයි කියති. බොහෝ අය හැමදේම බලන්නේ වැරදි කන්නාඩියෙනි. එහි කන්නාඩි යනු මතවාදීමය ආස්ථානයයි.

බොහෝ අය ඉර එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීමට ද කන්නාඩි පළඳිති. ඒවාට කියන්නේ අව් කන්නාඩි කියා ය. CPP සිංහ පට්ටම් කන්නාඩි එකල අපට නිතර ගුවන් විදුලියෙන් අසා පුරුදු නමකි. ඒ අප මුණ බලන කන්නාඩි විශේෂයකි. ඒවාට කැටපත් යැයි කියති.

කෙසේ වුව ද කන්නාඩි පාවිච්චි කරන බොහෝ දෙනාට කන්නාඩි කියා නිවැරදිව ලිවිය නොහැකිය. කණ්නාඩි, කන්ණාඩි යනුවෙන් වැරදියට ලියති. බොහෝ කන්නාඩි සාප්පුවල ඇත්තේ වැරදි අක්ෂර වින්‍යාස ය. මෙසේ මූර්ධජ සහ දන්තජ මාරුවට ලිවීම වැරදි ය.
කන්නාඩි දෙමළ වචනයක් හෙයින් එය කණ්ණාඩි යනුවෙන් ලිවාට ගැටලලුවක් නැත. කන්නාඩි යනුවෙන් සිංහල ඌරුවට ලිවීම වඩා හොඳ ය. මේ ටික ඇස් කන් නාඩි ඇති අයට තේරුම් ගැනීමට හැකි වෙතැයි සිතමි.