Saturday, May 14, 2011

ප්‍රදර්ශන යැයි නිවැරදි ව ලියා ගත නොහැකි ප්‍රදර්ශකයෝ!

මේ දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වටා දැන්වීම් පෙළක් දක්නට ලැබේ. ඒ 2 වන චීන අධ්‍යාපන ප්‍රදර්ශනය ගැන ය. එය පැවැත්වෙන්න්නේ 14-15 යන දෙදින ය. නොමිලේ ඇතුළු විය හැකි මේ ප්‍රදර්ශනය විදෙස් අධ්‍යාපන වරම් බලාපොරොත්තු වන අයට සුබ ආරංචියකි.

කෙසේ වුව ද මේ දැන්වීම් පෙළ පුරා 'ප්‍රදර්ශන' යන්න ලියා ඇත්තේ 'ණ' කාරයෙනි. මෙසේ විශ්වවිද්‍යාලය වටා ඉතා සරල අක්ෂර වින්‍යාස රීති පවා උල්ලංඝනය කළ පුවරු දක්නට ලැබීම කනගාවුට කරුණකි. මේවා දකින අපේ ළමා පරපුර ලබන්නේ වැරදි පූර්වා දර්ශයකි. මේ සමයේ අළු ගසා දමා නැගී සිටි තුම්මුල්ල ලක්සල වටා ඇති පුවරුවල පවා ලියා ඇත්තේ මූර්ධජවලිනි. මෙසේ බැලු බැලු අත විශ්වවිද්‍යාල වටා පවා වැරදි වචන දකින්නට සලස්වා ළමුන්ගෙන් විභාගවලට නිවැරදි වචන බලාපොරොත්තු වීම විහිළුවකි. ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි.

තාලුජ 'ශ' අකුරට පසු 'න' ලිවීම සිංහල රීතියයි. දේශන, විමර්ශන, ප්‍රශ්න වශයෙනි. මේවා 'ණ' යොදා ලිවීම සදොස් ය. එහෙත් 'ශ' කාරය රකාරාංශයක් සහිත ව ඇති විට ලියන්නේ 'ණ' කාරයයි. ශ්‍රේණි, මිශ්‍රණ වැනි වදන් ඒ සඳහා නිදසුන් ය. එහිදී ක්‍රීයාත්මක වන්නේ රකාරාංශයක් සහිත අකුරකට පසු යොදන්නේ 'ණ'කාරය යන රීතියයි. එහෙයින් චීන, රුසියානු පමණක් නොව ඉරෙන් හඳෙන් පැමිණ ප්‍රදර්ශන පැවැත් වුවත් 'ප්‍රදර්ශන' යන්න ලිවිය යුත්තේ 'න'කාරයෙනි. ප්‍රදර්ශන පැවැත් වීමට පමණක් නොව එය නිවැරදි ව ලියන්නට ද හැකි නම් කෙතරම් හොඳ ද?