Showing posts with label සුනරුත. Show all posts
Showing posts with label සුනරුත. Show all posts

Monday, December 12, 2011

ඉන්දියාව යුරෝපයට පාව යයි !















අප කුමන රැකියාවක් කළ ද ඊට අදාළ දැනුමට අමතරව සමාජ ජීවීන් ලෙස දැනගත යුතු ඇතැම් කරුණු තිබේ. එකී මූලික සමාජ අවබෝධය නොමැති වීම බොහෝ විට සමාජයේ අවඥාවට ලක්වීමට හේතුවකි.

ඉහත ඔබ දකින ඡායාරූපය නොබෝදා මා දුටුයේ, අගනුවර දැන්වීම් පුවරුවක ය. එහි සඳහන් වන්නේ "ඉන්දියාව නෝර්වේ ඇතුළු යුරෝපය සටනට බසී" යනුවෙනි. අප දන්නා ඉන්දියාව තිබෙන්නේ ආසියාවේ ය. දකුණු ආසියාවේ ය. එය උතුරු අර්ධ ගෝලයේ ශ්‍රී ලංකාවට ඉහළින් උතුරු අක්ෂාංශ අංශක 6.44 සහ 35.30 අතර ද නැගෙනහිර දේශාංශ අංශක 68.7 සහ 97.25 පිහිටා තිබේ.

එහෙත් උක්ත සිරස්තලයේ කියැවෙන පරිදි දැන් ඉන්දියාව යුරෝපයට පාව ගොස් විය යුතුය. එහෙත් එය එසේ නොවේ. මේ අසංවේදී ලෙස භාෂා භාවිතයේ ප්‍රතිඵලයකි. මේ වැකිය ලිවිය යුතුව තිබුණේ "ඉන්දියාව සහ නෝර්වේ ඇතුළු යුරෝපය සටනට බසී" යනුවෙනි. එවිට පෙර කී ආකාරයේ වැරදි අර්ථයක් ඇති නොවේ.

Tuesday, November 29, 2011

බීබීසි 'සුනඛ ප්‍රජාව'

මා බීබීසී සංදේශය ඇසීමට ඇබ්බැහි කළේ අපේ තාත්තා ය. එකල පාසැලේ දෙවන කැලෑසියට පමණක් ගිය අපේ තාත්තාගේ ලෝකය පිළිබඳ දැනුම අද සාමාන්‍ය සරසවි සිසුවකුගේ දැනුමට වඩා හොඳ හොඳ ය.

ඊයේ රාත්‍රීයේ ද මම සංදේශයට සවන් දුනිමි. 'ආසියාවේ ජල භීතිකා රෝගය' පිළිබඳ මේ දිනවල ලංකාවේ පැවැත්වෙන සමුළුවක් පිළිබඳ වාර්තා වැඩසටහන විකාශය වූයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පසු ය.

එම වැඩසටහන අතරතුර නිවේදකයා 'ශ්‍රී ලංකාවේ සුනඛ ප්‍රජාව' යන යෙදුමක් භාවිත කළේ ය. ප්‍රජාව යන වදන දැන් බෙහෙවින් භාවිත වන්නේ රටක ජනතාව, මිනිස් සමූහය යන අරුත්වලිනි. ඒ ප්‍රජාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය යන වදන් නිසා ය. එහෙයින් 'සුනඛ ගහනය' හෝ 'බල්ලන්' යන යෙදුම් වඩා උචිත ය.

කෙසේ වුව ද 70 දශකයේ ලංකාව පුරා වසරකට 300ට අධික පිරිසක් ජල භීතිකාවෙන් මිය ගිය ද අද වන විට 30ට පහළ බැස ඇතැයි ඇසීම සතුට දනවයි. අද රටේ ජනතාව සපා කන්නේ සිව්පා බල්ලන් විසින් නොවීමත් එම රෝගය බල්ලන්, බළලුන් ආදී සතුන්ගෙන් පමණක් බෝ වීමත් වාසනාවකි.

කලකට පෙර අපට මාධ්‍යවලින් නිතර අසන්නට ලැබුණු 'බලු ජනගහනය' 'අලි ජනගහනය' වැනි අසාධු යෙදුම් අද එතරම් අසන්නට නොලැබේ.

Saturday, November 26, 2011

ලෝක නියපොතු කෑමේ දිනය . . . !

හැම දේට ම දැන් දිනයක් වෙන් කර තිබේ. 'ලෝක වැඩිහිටි දිනය', 'පෙම්වතුන්ගේ දිනය' පමණක් නොව ලෝක අත සේදීමේ දිනයක් ද දැන් අපට තිබේ. අපට නැත්තේ ලෝක නියපොතු කෑමේ දිනය වැනි දින කිහිපයක් පමණි. ප්‍රශ්නය වන්නේ අවුරුද්ද දින 365ට සීමා වීම ය.

පසුගියදා ලෝක දියවැඩියා දිනය සැමරිණි. ඒ නොවැම්බර් 14 දා ය. එදා සුපුරුදු පරිදි බීබීසි සංදේශයට සවන් දීමට රේඩියෝව ස්වදේශීය සේවයට සුසර කළෙමි. එවිට එහි ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබිණි.

"රටේ ජනගහනයෙන් 1/4ක් තමන් දියවැඩි‍යාවෙන් පෙළෙන බව නොදන්නා බව ද... තව දුරටත් ප්‍රකාශ කළේ ය." යනු මගේ කන වැකුණු එක් වැකියකි.

මෙහි අර්ථය දැනටමත් ලංකාවෙන් ජනගහනයෙන් 1/4ට වැඩි ප්‍රමාණයක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවද? මන්ද තමන්ට දියවැඩියාව ඇතැයි කියාවත් නොදන්නා පිරිස ජනගහනයෙන් 1/4කි.

රටේ ජීවත් වන සෑම මිනිසුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම තමන්ට දියවැඩියාව ඇතැයි නොදැන සිටීමට නම් සෑම මිනිසුන් 4 දෙනෙකුගෙන් දෙ‍දෙනෙක්වත් දියවැඩියාවෙන් පෙළිය යුතුය. තත්ත්වය තවමත් එතරම් භයානක නො වුණ ද එය නුදුරු අනාගතයේ ම අත්විඳින්නට සිදුවීමේ අවදානමක් ද තිබේ.

දැන් කිසිවෙකුට තම ශරීර සෞඛ්‍යය ගැන සිතීමට හෝ පැය භාගයක් ව්‍යායාම කිරීමට හෝ කාලයක් නැත. එහෙයින් වයස තිහ පනින විට රටේ ඇති සියලු ලෙඩ රෝග වැළඳෙයි. එහෙත් අපේ මුතුන් මිත්තෝ අවුරුදු 80-90 ඉතාමත් යහතින් ජීවත් වූහ. එවන් මිනිසුන්ගෙන් පැවැත එන අප මොහොතක් ඒ ගැන කල්පනා කළ යුතුය.

කෙසේ වුව ද ඉහත ප්‍රවෘත්ති විකාශයේ කියැවුණු වාක්‍යය මෙසේ නිවැරදි විය යුතු යැයි සිතමි. මා වැරදි නම් නිවැරදි කරත්වා!

"රටේ දියවැඩියාවෙන් පෙළෙන ජනගහනයෙන් 1/4ක් තමන් දියවැඩි‍යාවෙන් පෙළෙන බව නොදන්නා බව ද... තව දුරටත් ප්‍රකාශ කළේ ය."

Wednesday, November 23, 2011

අපූරු හෝඩුවාව . . .















හෝඩුවාව යන සිංහල වචනය අප භාවිත කරන්නේ සැක සහිත යමක් පිළිබඳ ලද අලුත් ‍තොරතුරක් පිළිබඳ කියන විට ය. එසේ නොමැතිව 'ඉර නැඟෙනහිරින් පෑයීම පිළිබඳ හෝඩුවාවක්' වැනි යෙදුම් අරුත්සුන් ප්‍රලාප වෙයි.

මසකට පමණ පෙර කොළඹ අළවා තිබූ එක්තරා පුවත්පත් ප්‍රචාරක දැන්වීමක් දුටු මට සිනහව නවතා ගත නොහැකි විය. එහි සඳහන් වූයේ 'භාරතගේ මිනීමරුවන් ගැන හෝඩුවාවක්' යනුවෙනි. මහ දවල් දෙනෝ දහක් මැද සිදු වූ මේ ඝාතනයේ මිනිමරුවා කවුදැයි අපේ ආණ්ඩුව සහ මේ පුවත්පත හැර ලෝකය ම දනිති.

සතාසිවම් නඩුවේ දී මෙන් කොල්වින් ආර්. ද සිල්වා කෙනෙකුට මේ මිනී මැරුම මෝල් ගහක් කළේ යැයි ඔප්පු කොට මිනීමරුවා නිදහස් කළ හැකි ය. එහෙත් කොල්වින් ඊ ළඟ මැතිවරණයෙන් ගෙදර යවන්නට ජනතාව වග බලා ගත්හ.

එහෙයින් ගහ දන්නා අයට කොළ කඩා පාන්න වැනි මෙවන් කවට සිරස්තල පළ කිරීම පුවත්පතේ සුබ සිද්ධිය සඳහා නම් හේතු නොවන බව පැහැදිළිය.

Friday, September 30, 2011

එදා ඔහුගේ ජීවිතේ අවාසනාවන්තම දින කිහිපය කිව්වොත් ඉතාම නිවැරදියි. දිනමිණ 2011 09 30

මේ අපේ පොලිස් උතුමන්ගේ අලුත් ම වීර කතාවක් අළලා ලියැවුණු වාර්තාවකි. ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල් යැයි කතාවක් තිබේ. දැන් ග්‍රීස් යකුන් කෙළින පිස්සු නිසා ඇතැම් පොලිස් උතුමන්ට ද සිය ලේ පිපාසාව සංසිඳුවා ගැනීමට ඉඩ හසර උදා වී තිබේ.

මේ වාර්තාවේ එන ඉහත වැකිය සදොස් බව දැක්වීමටය; අපට අවශ්‍යය. එය ව්‍යාකරණමය වරදක් නොව අර්ථමය වරදකි. එදා යනු දිනයකි. එය දින කිහිපයක් ලෙස ගත නොහැකිය. මන්ද මෙය සාහිත්‍යමය ලේඛනයක් නොවන හෙයිනි. සාහිත්‍යයෙහි නම් එවන් යෙදුම් තිබේ.

එහෙයින් මේ වැකිය "එදා ඔහුගේ ජීවිතේ අවාසනාවන්තම දිනය බව කිව්වොත් ඉතාම නිවැරදියි." යනුවෙන් නිවැරදි විය යුතුය.

Friday, July 8, 2011

එදින පහන් වන තුරු ...?



විශ්වවිද්‍යාලයක ශාස්ත්‍ර පීඨය නිතර සාහිත්‍ය කලා කටයුතුවලට ඇරුණු රඟමඩලක් විය යුතු ය. එහෙත් මෑත කාලයේ ඒවා මුඩු බිම් බවට පත් විය. රටේ විවිධ නිරස බොල් නිර්මාණ ප්‍රචලිත වීමෙහි ලා මෙය ද එක් හේතුවක් විය. විශ්වවිද්‍යාලය නැවත ඒ කටයුතුවලට මුලපිරීම පුරන් වූ කලා කෙත යළි අස්වදැදෙනු ඇති බවට සුබ මග දසුනකි.

කෙසේ වුව ද භාෂාව භාවිතයෙහිලා අවධානය යොමු කළ යුත්තේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය ගැන පමණක් නො වේ. ප්‍රමුඛ විය යුත්තේ සිය අදහස මැනවින් සන්නිවේදනය වී ද යන්න ය. මේ පුවරුව පවසන ආකාරයට කාලය ගමන් කරන්නේ ආපස්සට ය. නැතහොත් රාත්‍රී 8ට ඇරඹෙන කෝලම් සංදර්ශනය එදින පහන් වන තුරු පවත්වන්නේ කෙසේ ද? සැබවින් ම කීමට අවශ්‍ය වී ඇත්තේ 7 වන දින රාත්‍රී 8 ඇරඹෙන සංදර්ශනය පසු දින එනම් 8 වැනි දිනට පහන් වන තුරු පැවෙත්වෙන බව ය.

සිසුන් මේ පුවරුව මුද්‍රණය කිරීමට පෙර එය අපේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකුට පෙන්වූයේ නම් වරද වහා නිවැරදි කරනු ඇත. එහෙත් ඇතැමුන්ට ඉංග්‍රීසි වැරදීම අවමානයක් වුව ද සිංහල වැරදී ම ආභරණයකි; අද. අහෝ !!!