Showing posts with label වියරණ. Show all posts
Showing posts with label වියරණ. Show all posts

Saturday, April 7, 2012

සිලොන්ටා තේ දල්ල

















සති කිහිපයකට පෙර මුළු කොළඹ නගරය පුරා තාප්ප දැන්වීම් පුවරු පුරා අළවා තිබූ වෙළඳ දැන්වීමකි; මේ. තම භාණ්ඩ මිල දී ගන්න පාරිභෝගික ජනතාවගේ භාෂාව ගැන මේ ආයතනවල ඇත්තෝ කෙතරම් නොසැලකිලිමත් කියලා කදිමට පේනවා. සිංහල ලේඛනයේ දී නාම පද අගට යෙදෙන බහු වචන 'වල්' ප්‍රත්‍ය වෙන් කරන්නේ නැහැ. වගේ දලු කියන වචනයයි නිවැරදි. දලු කියන බහු වචන නාම පදය ඒක වචන කරන්න පුළුවන් දල්ල කියලා. දලුව කියලා ලීවත් ඒක වචනයි.

Sunday, November 27, 2011

සියල්ල ඇතත් . . .















2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මනරම් බෞද්ධ මන්දිරයක් තුංමුල්ලේ ගොඩනැගිණි. එය සුවිශාල බෞද්ධ කෘති එකතුවක් මෙන් ම අති නවීන ශ්‍රවනාගාර පහසුකම්, පුස්තකාල පහසුකම්, භාවනා කුටි ආදී නේක සම්පතින් අනූන ය.

ලොව විශාලම බෞද්ධ පොත්හල තොරතුරු මධ්‍යස්ථානය ඒ බැව් පැවසේ. ථේරවාදී බුදුදහම ආරක්ෂා කර අනාගත ලෝකයට දීමේ වගකීම සහත් භක්තියෙන් හිස දරා සිටින මෙරට බෞද්ධයින්ට එය මහත් ප්‍රීතියකි.

එහෙත් අති නවීන සියලු පහසුකම්වලින් සමන්විත අපේ බෞද්ධ මන්දිරයේ දැවැන්ත පුවරුවේ (ඉහත ඡායාරූපයේ පෙනෙන පරිදි) 'සියලු' යන්න ලියා ඇත්තේ වැරදි ලෙස ය. බෞද්ධ කෘති සියල්ල ඇති තැනත් 'සියලු' යනුවෙන් ලියන්නේ වැරදි ලෙස ය. එහෙත් එහි කිසිදු ඉංග්‍රීසි වචනයක් වරදවා ලියා නැත. ඉන් හැඟවෙන්නේ මේ පුවරුව ලීවේ සුදු මහත්මයෙක් බව ද?

මෙහි යෙදී ඇත්තේ 'සියල්ල' යන්නේ නාම විශේෂණයයි. සියලු සැප, සියලු රෝග යන අවස්ථාවල මෙනි. සිංහලයේ 'ළ' කාරය (මූර්ධජ) හල් කරන්නේ ද නැත. මේවා දකින කල කුකුල් කේන්තිකාරයින්ට නම් උන් හිටි තැන් අමතක වෙයි. එහෙත් 'කුකුළා' යැයි ලියන අපි 'කුකුල්' යැයි ලියන්නේ උක්ත රීතිය නිසා ය.

Friday, November 25, 2011

මෙහෙව් කාර්යාලයක් . . . !














සිය ජිවිතයේ දී රාජකාරි කටයුත්තක් සඳහා කිසියම් කාර්යාලකට නොගිය කිසිවෙක් ඇතැයි නොසිතමි. සමහරු රාජකාරී කරන්නේ ද කාර්යාලවලය. මේ වචනය සිංහල බසින් තෙවිදිහකට නිදොස්ව ලිවිය හැකිය. ඒ කාර්යාලය, කාර්‍යාලය සහ කාර්‍ය්‍යාලය වශයෙනි.

එහෙත් දෙනෝ දහක් ගැවසෙන නුගේගොඩ නගරයේ තැපැල් කාර්යාලයේ තඩි අකුරින් කාර්යාලය යැයි ලියා ඇත්තේ මේ ඔබ ඡායා රූපයේ දකින ආකාරයට ය. ප්‍රසිද්ධ තැනක ඉංග්‍රීසි වචනයක් වරදවා ලියා ඇත්නම් විළියෙන් හැකිළෙන්නෝ කිපෙන්නෝ සියල්ලෝ මේ වරද ඉවසා වදාරත්.

රකාරාංශය කිසි විටක 'ර' සමග නොයෙදේ. එය යොදන්නේ 'ර'ට විකල්ප වශයෙනි. නොදන්න පණ්ඩිතකම් ප්‍රදර්ශනය නොකර සාමාන්‍ය පරිදි ලීවා නම් අහක ය. එහෙත් සිංහලෙන් ගොත ගැසීම ද වරදවා ලිවීම ද අද රටට ම ආඩම්බරයකි.

Tuesday, July 26, 2011

මෙහෙව් දර්ශනයක් !



ඇතම් භාෂා වැරදි සිදුවන්නේ නොදැනීම නිසා ම නොව නොසැලකිල්ල නිසා ය. දර්ශන යන්න 'ණ'කාරයෙන් ලිවීම සදොස් ය. එනම් තාලුජ 'ශ'ට පසු 'ණ' යෙදීම සිංහල ලේඛන වහර නො වන හෙයිනි. එතැන යෙදෙනුයේ 'න' කාරයයි.

මෙහි දැක්වෙන්නේ එක්තරා වෙබ් අඩවියක පළවූ පුවතක කොටසක් සහ එහි සිරසයි. මෙහි සිරසේ වැරදි ලෙස ලියූ වදන බඳෙහි නිවැරදිව ලියා තිබේ. එනම් මෙහි ඇත්තේ නොසැලකිල්ල පිළිබඳ කාරණයකි. අන්තර්ජාලයේ මෙම වදන නිවැරදිව 107 000 වරක් ලියා තිබේ. 23 300 වරක් උක්ත සිරසේ ලෙස වරදවා ලියා තිබේ. රජයේ govlk.com අඩවිය, dahamsayura.com අඩවිය සහ www.sannasa.org අඩවිය ද ඉහත 23 300ට දායක වී ඇත. දර්ශනය සදොස්ව ලියන අයගේ දර්ශනය පිළිබඳ ඇතැහු සැක කරති.

Wednesday, July 13, 2011

Good උදෑසනක්!!!



දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි නරඹමින්, මහ වීදිය ඔස්සේ පයින් ගමන් කරන අතර මම මේ බැනරය දුටිමි. වැඩ බලන නව නගරාධිපතිතුමාට (මුස්ලිම්) සුබ පතා ඇත්තේ සිංහල පිරිසකි. තනි ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස, එකට එක්ව ඉදිරියට යාමට මේ සුහදත්වය වැදගත් ය.

එහෙත් සංස්කෘත තත්සම සහ තත්භව වදන් එකට යෙදීම සදොස් ය. එය එළ හරක් මී හරක් බානක් එකට බැන්දා වැනි නො ගැළපෙන යෙදුමකි. 'සුභ' යනු පාලි තත්සම ය. (ශුභ යනු සංස්කෘත තත්සම වේ.) 'පැතුම්' යනු තත්භව ය. මේ දෙක එකට යෙදු කල එළ හරක් මී හරක් යෙදුමක් තැනේ. 'සුබ උදෑසනක්' නො කියා 'Good උදෑසනක්' කීවා වැනි විකාර යෙදුමකි; මේ. සුබ යන්නේ 'බ' මහප්‍රාණයෙන් උච්චාරණය කිරීමක් ද අද සිංහලයින් අතර නැත.

එහෙයින් යෙදුමක තත්භව වදනක් සමග තව වදනක් යෙදෙන විට එහි තත්භව රූපය ම යෙදිය යුතු ය. තද්සම සමග තද්සම රූපයක් ම යෙදීම මැනවි. අපේ වහරට වඩා සමීප වන්නේ තත්භව වදන් ය. එනම් 'සුබ පැතුම්' ය. යමෙක් තත්සම යෙදුමට රුචි නම් 'සුභ ප්‍රාර්ථනා' ලෙස යෙදීමට අවහිරයක් නැත. විශේෂයෙන් ඇතැම් කලා නිර්මාණවලට එය අවශ්‍ය විය හැකි ය. ඒ ඇතැම් රස උද්දීපණය පිණිස ය. අමරදේව ගයන සරස්වතී පූජා ගීතය නිදසුනකි.

Saturday, May 14, 2011

ප්‍රදර්ශන යැයි නිවැරදි ව ලියා ගත නොහැකි ප්‍රදර්ශකයෝ!

මේ දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වටා දැන්වීම් පෙළක් දක්නට ලැබේ. ඒ 2 වන චීන අධ්‍යාපන ප්‍රදර්ශනය ගැන ය. එය පැවැත්වෙන්න්නේ 14-15 යන දෙදින ය. නොමිලේ ඇතුළු විය හැකි මේ ප්‍රදර්ශනය විදෙස් අධ්‍යාපන වරම් බලාපොරොත්තු වන අයට සුබ ආරංචියකි.

කෙසේ වුව ද මේ දැන්වීම් පෙළ පුරා 'ප්‍රදර්ශන' යන්න ලියා ඇත්තේ 'ණ' කාරයෙනි. මෙසේ විශ්වවිද්‍යාලය වටා ඉතා සරල අක්ෂර වින්‍යාස රීති පවා උල්ලංඝනය කළ පුවරු දක්නට ලැබීම කනගාවුට කරුණකි. මේවා දකින අපේ ළමා පරපුර ලබන්නේ වැරදි පූර්වා දර්ශයකි. මේ සමයේ අළු ගසා දමා නැගී සිටි තුම්මුල්ල ලක්සල වටා ඇති පුවරුවල පවා ලියා ඇත්තේ මූර්ධජවලිනි. මෙසේ බැලු බැලු අත විශ්වවිද්‍යාල වටා පවා වැරදි වචන දකින්නට සලස්වා ළමුන්ගෙන් විභාගවලට නිවැරදි වචන බලාපොරොත්තු වීම විහිළුවකි. ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි.

තාලුජ 'ශ' අකුරට පසු 'න' ලිවීම සිංහල රීතියයි. දේශන, විමර්ශන, ප්‍රශ්න වශයෙනි. මේවා 'ණ' යොදා ලිවීම සදොස් ය. එහෙත් 'ශ' කාරය රකාරාංශයක් සහිත ව ඇති විට ලියන්නේ 'ණ' කාරයයි. ශ්‍රේණි, මිශ්‍රණ වැනි වදන් ඒ සඳහා නිදසුන් ය. එහිදී ක්‍රීයාත්මක වන්නේ රකාරාංශයක් සහිත අකුරකට පසු යොදන්නේ 'ණ'කාරය යන රීතියයි. එහෙයින් චීන, රුසියානු පමණක් නොව ඉරෙන් හඳෙන් පැමිණ ප්‍රදර්ශන පැවැත් වුවත් 'ප්‍රදර්ශන' යන්න ලිවිය යුත්තේ 'න'කාරයෙනි. ප්‍රදර්ශන පැවැත් වීමට පමණක් නොව එය නිවැරදි ව ලියන්නට ද හැකි නම් කෙතරම් හොඳ ද?

Tuesday, December 28, 2010

ලේඛන ද? ලේඛණ ද?

යම් යම් ලියකියවිලිවලට අපි ලේඛන යැයි කියමු. ලේඛන යනු සංස්කෘත තද්සම වදනකි. එහෙත් 'ලේඛන' යැයි නිවැරදි ව ලියන පිරිසක් මෙන් ම 'ලේඛණ' යැයි වැරදියට ලියන පිරිසක් ද සිටිති. අන්තර්ජාලයේ 41 600ක් වරක් 'ලේඛන' යැයි නිවැරදි ව ලියා තිබේ. 19 200 වාරයක් 'ලේඛණ' ලෙස වැරදියට ලියා තිබේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ (ICTA) සියබස් වෙබ් අඩවියේ - ආදර්ශ සිංහල ලේඛණ- යන්නෙහි 'ලේඛණ' ද ඒ වැරදි 19 200න් එකකි.මේ අනුව නිවැරදිව ලියන පිරිසට සාපේක්ෂව 50%ක් පමණ වැරදියට එය ලියා තිබේ.

එහෙත් නිවැරදි වදන 'ලේඛන' බව සිහි තබා ගැනීමෙන් මේ වරදින් සිදුවන අක්ෂර වින්‍යාස දෝෂය වළක්වා ගත හැකි ය. ඒ අනුව 'ලේඛනාගාරය,' 'ලේඛනාරුඪ,' 'ලේඛනාරක්ෂක' ආදි වදන් ද නිවැරදි විය යුතු ය.

Thursday, December 16, 2010

අළුත්ගම ද? අලුත්ගම ද?

බෙන්තර ගඟට එගොඩින් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා යැයි කතාවක් බස්නාහිර පළාතේ තිබේ. ගඟට එගොඩ ඇත්තේ දකුණ ය. දකුණේ සිට බෙන්තර ගඟ පැන බස්නාහිරට ආ විට මුලින් ම හමු වන්නේ අලුත්ගම ය. එය එකල ගමක් වුව ද අද නගරයකි. මෙහි අලුත් යනු නැවුම්, අභිනව යන අරුතයි. අලුත්ගම යනු අලුතින් ඇති වූ ගම යන්න ය.

එහෙත් අලුත්ගම හොටෙල්, කඩ, ආයතන, බස්, ලොරි ඈ මෙකී නොකී සියලු තැන්හි මේ නම ලියා ඇත්තේ අළුත්ගම යනුවෙනි. අළු යනු යම් යම් ද්‍රව්‍ය දහනය වූ පසු ශේෂ වන භස්ම ය. මේවා අපේ ළිපේ ඕනෑ තරම් තිබේ.

බෙන්තර ගඟ අසල පිහිටි නගරය, අලුතින් ඇති වු ගම යන අරුතින් අලුත්ගම වනු විනා ළිපේ ඇති අළු යන අරුතින් අළුත්ගම වන්නට හේතුවක් නැත.

මෙවන් සරළ වියරණ වැරදි දකින විට ඇස් ඇරපු බළල් පැටියෙක්වත් රැගෙන නො ඒම හොඳ යැයි අපට සිතේ.

Tuesday, December 14, 2010

අධිරද බල බිඳලමු ?‍

ලංකා සම සමාජ පක්ෂයයේ 75 වන සංවත්සරය වෙනුවෙන් අළවා තිබුණු, අහම්බෙන් අද උදෑසන මා නෙත ගැටුණු පෝස්ටරයකින් උපුටා ගත් කොටසකි; මේ සිරස්තලය. මෙහි 'අධිරද' යනු 'අධිරාජ්‍ය' යන සංස්කෘතයට බර වදන සිංහල ඌරුවට යොදා ගැනීමට දරන ලද උත්සාහයකි. එය අගය කළ යුතු ය.

එහෙත් එම කාර්ය මැනවින් ඉටු කර ගැනීමට එහි රචකයා අසමත් වී තිබේ. 'රාජ්‍ය' යන්න 'රද' ලෙස සිංහලට නැගුව ද 'අධි' යන උපසර්ගය එසේ ම තබා තිබේ. එය සිංහල රීතියට පටහැණි ය. යම් කිසි වචනයක් සිංහල ඌරුවට ලියයි නම් මුළු වචනය ම එසේ ලිවිය යුතු ය. නැතහොත් එය මුල් ස්වරූපයෙන් ම තැබීම වඩා උචිත ය. නිදසුනක් ලෙස 'සුභ ප්‍රාර්ථනා' යන වදන සිංහල ඌරුවට 'සුබ පැතුම්' වෙයි. ඒ අනුව 'අධිරාජ්‍ය' යන වදන නිවැරදිව සිංහලට නැගිය යුත්තේ 'අදිරද' යනුවෙනි.

මෙවන් දේ ගැන අප සාවධාන විය යුතු ය. එසේ නොවුණ හොත් සිදුවන්නේ අදිරද බල බිඳලීම නො ව අප බස ද නසාලීම ය.

වැරදි කන්නාඩියෙන් බැලීම

අපි ඇහේ පළඳින්නට මෙන් ම මුණ බලන්නට ගන්නේ ද කන්නාඩි ය. ඇසේ පෙනීම අඩු අය මෙන් ම විලාසිතාවට ද ඇතැම්හු කන්නාඩි පළඳිති. ඒවාට උපැස් යැයි කියති. බොහෝ අය හැමදේම බලන්නේ වැරදි කන්නාඩියෙනි. එහි කන්නාඩි යනු මතවාදීමය ආස්ථානයයි.

බොහෝ අය ඉර එළියෙන් ඇස් ආරක්ෂා කර ගැනීමට ද කන්නාඩි පළඳිති. ඒවාට කියන්නේ අව් කන්නාඩි කියා ය. CPP සිංහ පට්ටම් කන්නාඩි එකල අපට නිතර ගුවන් විදුලියෙන් අසා පුරුදු නමකි. ඒ අප මුණ බලන කන්නාඩි විශේෂයකි. ඒවාට කැටපත් යැයි කියති.

කෙසේ වුව ද කන්නාඩි පාවිච්චි කරන බොහෝ දෙනාට කන්නාඩි කියා නිවැරදිව ලිවිය නොහැකිය. කණ්නාඩි, කන්ණාඩි යනුවෙන් වැරදියට ලියති. බොහෝ කන්නාඩි සාප්පුවල ඇත්තේ වැරදි අක්ෂර වින්‍යාස ය. මෙසේ මූර්ධජ සහ දන්තජ මාරුවට ලිවීම වැරදි ය.
කන්නාඩි දෙමළ වචනයක් හෙයින් එය කණ්ණාඩි යනුවෙන් ලිවාට ගැටලලුවක් නැත. කන්නාඩි යනුවෙන් සිංහල ඌරුවට ලිවීම වඩා හොඳ ය. මේ ටික ඇස් කන් නාඩි ඇති අයට තේරුම් ගැනීමට හැකි වෙතැයි සිතමි.