Saturday, April 7, 2012

සිලොන්ටා තේ දල්ල

















සති කිහිපයකට පෙර මුළු කොළඹ නගරය පුරා තාප්ප දැන්වීම් පුවරු පුරා අළවා තිබූ වෙළඳ දැන්වීමකි; මේ. තම භාණ්ඩ මිල දී ගන්න පාරිභෝගික ජනතාවගේ භාෂාව ගැන මේ ආයතනවල ඇත්තෝ කෙතරම් නොසැලකිලිමත් කියලා කදිමට පේනවා. සිංහල ලේඛනයේ දී නාම පද අගට යෙදෙන බහු වචන 'වල්' ප්‍රත්‍ය වෙන් කරන්නේ නැහැ. වගේ දලු කියන වචනයයි නිවැරදි. දලු කියන බහු වචන නාම පදය ඒක වචන කරන්න පුළුවන් දල්ල කියලා. දලුව කියලා ලීවත් ඒක වචනයි.

Monday, December 12, 2011

ඉන්දියාව යුරෝපයට පාව යයි !















අප කුමන රැකියාවක් කළ ද ඊට අදාළ දැනුමට අමතරව සමාජ ජීවීන් ලෙස දැනගත යුතු ඇතැම් කරුණු තිබේ. එකී මූලික සමාජ අවබෝධය නොමැති වීම බොහෝ විට සමාජයේ අවඥාවට ලක්වීමට හේතුවකි.

ඉහත ඔබ දකින ඡායාරූපය නොබෝදා මා දුටුයේ, අගනුවර දැන්වීම් පුවරුවක ය. එහි සඳහන් වන්නේ "ඉන්දියාව නෝර්වේ ඇතුළු යුරෝපය සටනට බසී" යනුවෙනි. අප දන්නා ඉන්දියාව තිබෙන්නේ ආසියාවේ ය. දකුණු ආසියාවේ ය. එය උතුරු අර්ධ ගෝලයේ ශ්‍රී ලංකාවට ඉහළින් උතුරු අක්ෂාංශ අංශක 6.44 සහ 35.30 අතර ද නැගෙනහිර දේශාංශ අංශක 68.7 සහ 97.25 පිහිටා තිබේ.

එහෙත් උක්ත සිරස්තලයේ කියැවෙන පරිදි දැන් ඉන්දියාව යුරෝපයට පාව ගොස් විය යුතුය. එහෙත් එය එසේ නොවේ. මේ අසංවේදී ලෙස භාෂා භාවිතයේ ප්‍රතිඵලයකි. මේ වැකිය ලිවිය යුතුව තිබුණේ "ඉන්දියාව සහ නෝර්වේ ඇතුළු යුරෝපය සටනට බසී" යනුවෙනි. එවිට පෙර කී ආකාරයේ වැරදි අර්ථයක් ඇති නොවේ.

Tuesday, November 29, 2011

බීබීසි 'සුනඛ ප්‍රජාව'

මා බීබීසී සංදේශය ඇසීමට ඇබ්බැහි කළේ අපේ තාත්තා ය. එකල පාසැලේ දෙවන කැලෑසියට පමණක් ගිය අපේ තාත්තාගේ ලෝකය පිළිබඳ දැනුම අද සාමාන්‍ය සරසවි සිසුවකුගේ දැනුමට වඩා හොඳ හොඳ ය.

ඊයේ රාත්‍රීයේ ද මම සංදේශයට සවන් දුනිමි. 'ආසියාවේ ජල භීතිකා රෝගය' පිළිබඳ මේ දිනවල ලංකාවේ පැවැත්වෙන සමුළුවක් පිළිබඳ වාර්තා වැඩසටහන විකාශය වූයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පසු ය.

එම වැඩසටහන අතරතුර නිවේදකයා 'ශ්‍රී ලංකාවේ සුනඛ ප්‍රජාව' යන යෙදුමක් භාවිත කළේ ය. ප්‍රජාව යන වදන දැන් බෙහෙවින් භාවිත වන්නේ රටක ජනතාව, මිනිස් සමූහය යන අරුත්වලිනි. ඒ ප්‍රජාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය යන වදන් නිසා ය. එහෙයින් 'සුනඛ ගහනය' හෝ 'බල්ලන්' යන යෙදුම් වඩා උචිත ය.

කෙසේ වුව ද 70 දශකයේ ලංකාව පුරා වසරකට 300ට අධික පිරිසක් ජල භීතිකාවෙන් මිය ගිය ද අද වන විට 30ට පහළ බැස ඇතැයි ඇසීම සතුට දනවයි. අද රටේ ජනතාව සපා කන්නේ සිව්පා බල්ලන් විසින් නොවීමත් එම රෝගය බල්ලන්, බළලුන් ආදී සතුන්ගෙන් පමණක් බෝ වීමත් වාසනාවකි.

කලකට පෙර අපට මාධ්‍යවලින් නිතර අසන්නට ලැබුණු 'බලු ජනගහනය' 'අලි ජනගහනය' වැනි අසාධු යෙදුම් අද එතරම් අසන්නට නොලැබේ.

Sunday, November 27, 2011

සියල්ල ඇතත් . . .















2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මනරම් බෞද්ධ මන්දිරයක් තුංමුල්ලේ ගොඩනැගිණි. එය සුවිශාල බෞද්ධ කෘති එකතුවක් මෙන් ම අති නවීන ශ්‍රවනාගාර පහසුකම්, පුස්තකාල පහසුකම්, භාවනා කුටි ආදී නේක සම්පතින් අනූන ය.

ලොව විශාලම බෞද්ධ පොත්හල තොරතුරු මධ්‍යස්ථානය ඒ බැව් පැවසේ. ථේරවාදී බුදුදහම ආරක්ෂා කර අනාගත ලෝකයට දීමේ වගකීම සහත් භක්තියෙන් හිස දරා සිටින මෙරට බෞද්ධයින්ට එය මහත් ප්‍රීතියකි.

එහෙත් අති නවීන සියලු පහසුකම්වලින් සමන්විත අපේ බෞද්ධ මන්දිරයේ දැවැන්ත පුවරුවේ (ඉහත ඡායාරූපයේ පෙනෙන පරිදි) 'සියලු' යන්න ලියා ඇත්තේ වැරදි ලෙස ය. බෞද්ධ කෘති සියල්ල ඇති තැනත් 'සියලු' යනුවෙන් ලියන්නේ වැරදි ලෙස ය. එහෙත් එහි කිසිදු ඉංග්‍රීසි වචනයක් වරදවා ලියා නැත. ඉන් හැඟවෙන්නේ මේ පුවරුව ලීවේ සුදු මහත්මයෙක් බව ද?

මෙහි යෙදී ඇත්තේ 'සියල්ල' යන්නේ නාම විශේෂණයයි. සියලු සැප, සියලු රෝග යන අවස්ථාවල මෙනි. සිංහලයේ 'ළ' කාරය (මූර්ධජ) හල් කරන්නේ ද නැත. මේවා දකින කල කුකුල් කේන්තිකාරයින්ට නම් උන් හිටි තැන් අමතක වෙයි. එහෙත් 'කුකුළා' යැයි ලියන අපි 'කුකුල්' යැයි ලියන්නේ උක්ත රීතිය නිසා ය.

Saturday, November 26, 2011

ලෝක නියපොතු කෑමේ දිනය . . . !

හැම දේට ම දැන් දිනයක් වෙන් කර තිබේ. 'ලෝක වැඩිහිටි දිනය', 'පෙම්වතුන්ගේ දිනය' පමණක් නොව ලෝක අත සේදීමේ දිනයක් ද දැන් අපට තිබේ. අපට නැත්තේ ලෝක නියපොතු කෑමේ දිනය වැනි දින කිහිපයක් පමණි. ප්‍රශ්නය වන්නේ අවුරුද්ද දින 365ට සීමා වීම ය.

පසුගියදා ලෝක දියවැඩියා දිනය සැමරිණි. ඒ නොවැම්බර් 14 දා ය. එදා සුපුරුදු පරිදි බීබීසි සංදේශයට සවන් දීමට රේඩියෝව ස්වදේශීය සේවයට සුසර කළෙමි. එවිට එහි ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබිණි.

"රටේ ජනගහනයෙන් 1/4ක් තමන් දියවැඩි‍යාවෙන් පෙළෙන බව නොදන්නා බව ද... තව දුරටත් ප්‍රකාශ කළේ ය." යනු මගේ කන වැකුණු එක් වැකියකි.

මෙහි අර්ථය දැනටමත් ලංකාවෙන් ජනගහනයෙන් 1/4ට වැඩි ප්‍රමාණයක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවද? මන්ද තමන්ට දියවැඩියාව ඇතැයි කියාවත් නොදන්නා පිරිස ජනගහනයෙන් 1/4කි.

රටේ ජීවත් වන සෑම මිනිසුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම තමන්ට දියවැඩියාව ඇතැයි නොදැන සිටීමට නම් සෑම මිනිසුන් 4 දෙනෙකුගෙන් දෙ‍දෙනෙක්වත් දියවැඩියාවෙන් පෙළිය යුතුය. තත්ත්වය තවමත් එතරම් භයානක නො වුණ ද එය නුදුරු අනාගතයේ ම අත්විඳින්නට සිදුවීමේ අවදානමක් ද තිබේ.

දැන් කිසිවෙකුට තම ශරීර සෞඛ්‍යය ගැන සිතීමට හෝ පැය භාගයක් ව්‍යායාම කිරීමට හෝ කාලයක් නැත. එහෙයින් වයස තිහ පනින විට රටේ ඇති සියලු ලෙඩ රෝග වැළඳෙයි. එහෙත් අපේ මුතුන් මිත්තෝ අවුරුදු 80-90 ඉතාමත් යහතින් ජීවත් වූහ. එවන් මිනිසුන්ගෙන් පැවැත එන අප මොහොතක් ඒ ගැන කල්පනා කළ යුතුය.

කෙසේ වුව ද ඉහත ප්‍රවෘත්ති විකාශයේ කියැවුණු වාක්‍යය මෙසේ නිවැරදි විය යුතු යැයි සිතමි. මා වැරදි නම් නිවැරදි කරත්වා!

"රටේ දියවැඩියාවෙන් පෙළෙන ජනගහනයෙන් 1/4ක් තමන් දියවැඩි‍යාවෙන් පෙළෙන බව නොදන්නා බව ද... තව දුරටත් ප්‍රකාශ කළේ ය."

Friday, November 25, 2011

මෙහෙව් කාර්යාලයක් . . . !














සිය ජිවිතයේ දී රාජකාරි කටයුත්තක් සඳහා කිසියම් කාර්යාලකට නොගිය කිසිවෙක් ඇතැයි නොසිතමි. සමහරු රාජකාරී කරන්නේ ද කාර්යාලවලය. මේ වචනය සිංහල බසින් තෙවිදිහකට නිදොස්ව ලිවිය හැකිය. ඒ කාර්යාලය, කාර්‍යාලය සහ කාර්‍ය්‍යාලය වශයෙනි.

එහෙත් දෙනෝ දහක් ගැවසෙන නුගේගොඩ නගරයේ තැපැල් කාර්යාලයේ තඩි අකුරින් කාර්යාලය යැයි ලියා ඇත්තේ මේ ඔබ ඡායා රූපයේ දකින ආකාරයට ය. ප්‍රසිද්ධ තැනක ඉංග්‍රීසි වචනයක් වරදවා ලියා ඇත්නම් විළියෙන් හැකිළෙන්නෝ කිපෙන්නෝ සියල්ලෝ මේ වරද ඉවසා වදාරත්.

රකාරාංශය කිසි විටක 'ර' සමග නොයෙදේ. එය යොදන්නේ 'ර'ට විකල්ප වශයෙනි. නොදන්න පණ්ඩිතකම් ප්‍රදර්ශනය නොකර සාමාන්‍ය පරිදි ලීවා නම් අහක ය. එහෙත් සිංහලෙන් ගොත ගැසීම ද වරදවා ලිවීම ද අද රටට ම ආඩම්බරයකි.

Wednesday, November 23, 2011

අපූරු හෝඩුවාව . . .















හෝඩුවාව යන සිංහල වචනය අප භාවිත කරන්නේ සැක සහිත යමක් පිළිබඳ ලද අලුත් ‍තොරතුරක් පිළිබඳ කියන විට ය. එසේ නොමැතිව 'ඉර නැඟෙනහිරින් පෑයීම පිළිබඳ හෝඩුවාවක්' වැනි යෙදුම් අරුත්සුන් ප්‍රලාප වෙයි.

මසකට පමණ පෙර කොළඹ අළවා තිබූ එක්තරා පුවත්පත් ප්‍රචාරක දැන්වීමක් දුටු මට සිනහව නවතා ගත නොහැකි විය. එහි සඳහන් වූයේ 'භාරතගේ මිනීමරුවන් ගැන හෝඩුවාවක්' යනුවෙනි. මහ දවල් දෙනෝ දහක් මැද සිදු වූ මේ ඝාතනයේ මිනිමරුවා කවුදැයි අපේ ආණ්ඩුව සහ මේ පුවත්පත හැර ලෝකය ම දනිති.

සතාසිවම් නඩුවේ දී මෙන් කොල්වින් ආර්. ද සිල්වා කෙනෙකුට මේ මිනී මැරුම මෝල් ගහක් කළේ යැයි ඔප්පු කොට මිනීමරුවා නිදහස් කළ හැකි ය. එහෙත් කොල්වින් ඊ ළඟ මැතිවරණයෙන් ගෙදර යවන්නට ජනතාව වග බලා ගත්හ.

එහෙයින් ගහ දන්නා අයට කොළ කඩා පාන්න වැනි මෙවන් කවට සිරස්තල පළ කිරීම පුවත්පතේ සුබ සිද්ධිය සඳහා නම් හේතු නොවන බව පැහැදිළිය.