Saturday, November 26, 2011

ලෝක නියපොතු කෑමේ දිනය . . . !

හැම දේට ම දැන් දිනයක් වෙන් කර තිබේ. 'ලෝක වැඩිහිටි දිනය', 'පෙම්වතුන්ගේ දිනය' පමණක් නොව ලෝක අත සේදීමේ දිනයක් ද දැන් අපට තිබේ. අපට නැත්තේ ලෝක නියපොතු කෑමේ දිනය වැනි දින කිහිපයක් පමණි. ප්‍රශ්නය වන්නේ අවුරුද්ද දින 365ට සීමා වීම ය.

පසුගියදා ලෝක දියවැඩියා දිනය සැමරිණි. ඒ නොවැම්බර් 14 දා ය. එදා සුපුරුදු පරිදි බීබීසි සංදේශයට සවන් දීමට රේඩියෝව ස්වදේශීය සේවයට සුසර කළෙමි. එවිට එහි ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබිණි.

"රටේ ජනගහනයෙන් 1/4ක් තමන් දියවැඩි‍යාවෙන් පෙළෙන බව නොදන්නා බව ද... තව දුරටත් ප්‍රකාශ කළේ ය." යනු මගේ කන වැකුණු එක් වැකියකි.

මෙහි අර්ථය දැනටමත් ලංකාවෙන් ජනගහනයෙන් 1/4ට වැඩි ප්‍රමාණයක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවද? මන්ද තමන්ට දියවැඩියාව ඇතැයි කියාවත් නොදන්නා පිරිස ජනගහනයෙන් 1/4කි.

රටේ ජීවත් වන සෑම මිනිසුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම තමන්ට දියවැඩියාව ඇතැයි නොදැන සිටීමට නම් සෑම මිනිසුන් 4 දෙනෙකුගෙන් දෙ‍දෙනෙක්වත් දියවැඩියාවෙන් පෙළිය යුතුය. තත්ත්වය තවමත් එතරම් භයානක නො වුණ ද එය නුදුරු අනාගතයේ ම අත්විඳින්නට සිදුවීමේ අවදානමක් ද තිබේ.

දැන් කිසිවෙකුට තම ශරීර සෞඛ්‍යය ගැන සිතීමට හෝ පැය භාගයක් ව්‍යායාම කිරීමට හෝ කාලයක් නැත. එහෙයින් වයස තිහ පනින විට රටේ ඇති සියලු ලෙඩ රෝග වැළඳෙයි. එහෙත් අපේ මුතුන් මිත්තෝ අවුරුදු 80-90 ඉතාමත් යහතින් ජීවත් වූහ. එවන් මිනිසුන්ගෙන් පැවැත එන අප මොහොතක් ඒ ගැන කල්පනා කළ යුතුය.

කෙසේ වුව ද ඉහත ප්‍රවෘත්ති විකාශයේ කියැවුණු වාක්‍යය මෙසේ නිවැරදි විය යුතු යැයි සිතමි. මා වැරදි නම් නිවැරදි කරත්වා!

"රටේ දියවැඩියාවෙන් පෙළෙන ජනගහනයෙන් 1/4ක් තමන් දියවැඩි‍යාවෙන් පෙළෙන බව නොදන්නා බව ද... තව දුරටත් ප්‍රකාශ කළේ ය."

2 comments:

  1. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන ප්‍රායොගිව යොදා ගැනීමක්.

    ReplyDelete
  2. හැබැයි සමහර විට ඒක හරිද දන්නෙත් නෑ අපේ ජීවන රටාවේ හැටියට! :)

    ReplyDelete