Tuesday, November 29, 2011

බීබීසි 'සුනඛ ප්‍රජාව'

මා බීබීසී සංදේශය ඇසීමට ඇබ්බැහි කළේ අපේ තාත්තා ය. එකල පාසැලේ දෙවන කැලෑසියට පමණක් ගිය අපේ තාත්තාගේ ලෝකය පිළිබඳ දැනුම අද සාමාන්‍ය සරසවි සිසුවකුගේ දැනුමට වඩා හොඳ හොඳ ය.

ඊයේ රාත්‍රීයේ ද මම සංදේශයට සවන් දුනිමි. 'ආසියාවේ ජල භීතිකා රෝගය' පිළිබඳ මේ දිනවල ලංකාවේ පැවැත්වෙන සමුළුවක් පිළිබඳ වාර්තා වැඩසටහන විකාශය වූයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පසු ය.

එම වැඩසටහන අතරතුර නිවේදකයා 'ශ්‍රී ලංකාවේ සුනඛ ප්‍රජාව' යන යෙදුමක් භාවිත කළේ ය. ප්‍රජාව යන වදන දැන් බෙහෙවින් භාවිත වන්නේ රටක ජනතාව, මිනිස් සමූහය යන අරුත්වලිනි. ඒ ප්‍රජාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය යන වදන් නිසා ය. එහෙයින් 'සුනඛ ගහනය' හෝ 'බල්ලන්' යන යෙදුම් වඩා උචිත ය.

කෙසේ වුව ද 70 දශකයේ ලංකාව පුරා වසරකට 300ට අධික පිරිසක් ජල භීතිකාවෙන් මිය ගිය ද අද වන විට 30ට පහළ බැස ඇතැයි ඇසීම සතුට දනවයි. අද රටේ ජනතාව සපා කන්නේ සිව්පා බල්ලන් විසින් නොවීමත් එම රෝගය බල්ලන්, බළලුන් ආදී සතුන්ගෙන් පමණක් බෝ වීමත් වාසනාවකි.

කලකට පෙර අපට මාධ්‍යවලින් නිතර අසන්නට ලැබුණු 'බලු ජනගහනය' 'අලි ජනගහනය' වැනි අසාධු යෙදුම් අද එතරම් අසන්නට නොලැබේ.

1 comment:

  1. ශ්‍රී ලංකාවේ සුනඛ ප්‍රජාව kiyana eka nam ithin den gdak ayata gelapenawa

    ReplyDelete